සුවය ලැබූ නාවික සෙබලුන් ගණන 283 දක්වා ඉහළට

2020-05-23 at 10:27

NAVY

කොවිඞ්-19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ නාවික හමුදාවේ තවත් 33 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව රෝහල් වෙතින් මුදා හැර තිබෙනවා.

ඒ අනුව කොරෝනා ආසාධනය වී සුවය ලැබූ සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 283 ක් ලෙස ඉහල යන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිතන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා කියාසිටියේ.

මේ අතර ගුවන් හමුදා වැලිසර නිරෝධායනය මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වූ 41 දෙනෙකු ද අද නිවෙස් වෙත පිටත් කර හරින බව ගුවන් හමුදාව ප්‍රකාශ කළා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා නිව්ස් රේඩියෝවට සඳහන් කලේ ඉන් 38 දෙනෙකු කෙරවළපිටිය කසල කළමණාකරණ මධ්‍යස්ථානයේ සේවකයන් පිරිසක් බවයි.

වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබලුන් සමග සමීපව කටයුතු කිරීම හේතුවෙනුයි එම පිරිස නිරෝධායනයට යොමු කර තිබුණේ.

අනෙක් 3 දෙනා අයි ඩී එච් රෝහලේ සිට එවා තිබූ අය බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියා.