හෙරොයින් ජාවාරමුන් පිරිසකගේ ගිණුම්වල රු කෝටි 39 ක් – ඩොලර් 469,000 ක්

2020-08-01 at 21:33

මහා පරිමාණ හෙරොයින් ජාවාරමකට සම්බන්ධ පිරිසකගේ බැංකු ගිණුම්වල තිබී රුපියල් කෝටි 39 කට ආසන්න මුදලක් සහ අමෙරිකානු ඩොලර් හාර ලක්ෂ 69 දහසක මුදලක් සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

හෙරොයින් ජාවාරමේ නිරතවන පුද්ගලයන් 04 දෙනෙකු බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ රාජගිරිය හංදියේදී සහ බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේදීයි.

ඔවුන් වව්නියාව / පන්නිපිටිය / පිටකෝට්ටේ සහ බත්තරමුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන වයස අවුරුදු 32 – 38 සහ 42 යන වියෙහි පසුවන්නන් වනවා.

මින් වව්නියාවේ පදිංචිකරුගේ බැංකු ගිණුමට විදේශීය රටකින් රුපියල් 7 කෝටි 50 ලක්ෂයක මුදලක් බැරවී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

එමෙන්ම බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුගෙන් කල ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ මෙම පිරිසට අයත් නොවන වෙනත් පුද්ගලයන් 05 දෙනෙකුගේ බැංකු ගිණුම් වෙත රුපියල් කෝටි 31 කට අධික මුදලක් සහ අමෙරිකානු ඩොලර් හාර ලක්ෂ 69 දහසක මුදලක් විදෙස් රටවලින් ලැබී ඇති බවයි.

සැකකරුවන් අලුත්කඬේ අංක 07 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දින 07 ක රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.