13 උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න | බුදු දහම ප්‍රවර්ධනයට ඩොලර් මිලියන 15 ක් – මෝදි

2020-09-26 at 18:04

පළාත් සභා සඳහා උපරිම බලය බෙදීමක් හිමිවන 13 වන ව්‍යවස්ථා සංශෝධනය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අද නැවත වරක් දැනුම් දී තිබෙනවා.

සාමය සහ සංහිඳියාව ඉදිරියට ගෙන යාමේදී එය අතිශය වැදගත් වන බවයි දෙපාර්ශවය අතර අද පෙරවරුවේ පැවති වීඩියෝ සමුලුවේදී මෝදි මහතා පෙන්වා දී ඇත්තේ.

ද්‍රවිඩ ජනතාවගේ අපේක්ෂා ඉටු වන අයුරින් සමානාත්මතාවය / යුක්තිය / ප්‍රතිසන්ධානය අත්කරගැනීම සඳහා ව්‍යවස්ථාවේ අන්තර්ගත කරුණු ඉටු කරන්නැයි ඉන්දීය අග්‍රමාත්‍යවරයා මෙහිදී ශ්‍රී ලංකා නව රජයෙන් ඉල්ලා ඇති බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කලේ.

උතුරු මුහුදේ ධීවර ගැටලුව සම්බන්ධයෙන්ද නායකයන් දෙදෙනා අතර අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

ස්ථිර සහ මානුෂීය මුහුණුවරකින් එම ගැටලුව විසඳා ගැනීමටයි යෝජනා වී ඇත්තේ.

ඒ අනුව දෙපාර්ශවයේම නිළධාරීන් සහභාගී කරවා ගනිමින් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කල නිවේදනයක සඳහන්.

මේ අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බුදු දහම ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ඩොලර් මිලියන 15 ක ප්‍රදානයක් සිදුකරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙම වීඩියෝ සමුලුවේදී ප්‍රකාශ කලා.

දෙරටෙහිම පිහිටා ඇති බුදු දහමට සම්බන්ධ සිද්ධස්ථාන නව්‍යකරණය වෙනුවෙන් එම මුදල යෙදවීමට නියමිතයි.

මෑතකදී ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට පත් කෙරුණු කුෂිනගර් ගුවන් තොටුපලේ ක්‍රියාත්මක කරන පළමු විදෙස් ගුවන් ගමන ලෙස ලාංකික බෞද්ධ බැතිමතුන් පිරිසක් ගෙන්වා ගැනීමට ඉන්දියාව විසින් පහසුකම් සළසන බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.

දැනට ශ්‍රී ලංකාව විසින් පණවා ඇති ආනයන සීමා කඩිනමින් ඉවත් වනු ඇති බවටද නරේන්ද්‍ර මෝදි මහතා විශ්වාසය පළකර තිබෙනවා.

කොවිඞ් වසංගත තත්වය පාලනයේදී ඉන්දියාවෙන් අනෙකුත් රටවලට ලද සහය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙහිදී ඇගයීමට ලක් කර තිබෙනවා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින මනා සහයෝගීතාවය පෙන්නුම් කල අවස්ථාවක් ලෙස එම් ටී නිව් ඩයමන්ඞ් නෞකාවේ හටගත් ගින්න මැඩපැවැත්වීම හඳුන්වාදිය හැකි බවද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කලා.

මහ මැතිවරණයේදී ලද 2/3 ක ජන වරම ඉන්දු ලංකා සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් යොදවන බවටද රාජපක්ෂ මහතා සහතික වී තිබෙනවා.

ණය පහසුකම් / සංවර්ධන කටයුතු වැනි අංශ ගණනාවක් කෙරෙහිද නායකයන් දෙදෙනා සාකච්ඡා කල බවයි ඉන්දීය විදේශ අමාත්‍යංශය නිවේදනය කලේ.