IPL ඉතිරි කොටස ශ්‍රී ලංකාවේ ???

2021-05-07 at 18:24

ඉන්දියාවේ කොරෝනා වසංගතය උත්සන්න වීම හේතුවෙන් කල් දමනු ලැබූ අයි පී එල් තරගාවලියේ ඉතිරි කොටස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට මෙරට ක්‍රිකට් බලධාරින් කැමැත්ත පළ කර තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි ප්‍රකාශ කළේ තරගාවලිය සම්පූර්ණ කිරීම සඳහා අනෙකුත් ක්‍රිකට් පාලක මණ්ඩල සමග සාකච්ඡා කරන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටු ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තු වන පරිදි අයි.පී.එල්. තරගාවලියේ ඉතිරි කොටස සැප්තැම්බරයේ මෙරටදී පැවැත්විය හැකි බවයි.

මේ අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මාලදිවයිනේදී නිරෝධායනයට ලක්කර තිබෙනවා.

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ අයි පී එල් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමත් සමග ඊට සහභාගී වී සිටින විදෙස් ක්‍රීඩකයන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් පිටත් කර යැවීමටයි ඉන්දීය ක්‍රිකට් ආයතනය පියවර ගත්තේ.

එහෙත් ඉන්දියාවේ සිට ගුවන් ගමන් තහනම් කර තිබීම හේතුවෙන් මහේල ජයවර්ධන මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති අතර එහිදී නිරෝධායන කාලසීමාව අවසන්වීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිනීමට නියමිතයි.