Just In: රාජපක්ෂ කෞතුකාගාර නඩුවෙන් ජනපති ගෝඨාභය නිදහස්

2019-11-21 at 10:05

වීරකැටිය ඩී ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිම සම්බන්ධ රජයට අයත් රුපියල් තුන්කෝටි 39 ලක්ෂයක මුදලක් භාවිතා කිරීම ඇතුළු අධිචෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් කිරීමට බස්නාහිර පළාත්බද පළමු ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද නියෝග කළා.

රාජපක්ෂ මහතාට පණවා තිබු විදෙස් ගමන් තහනම ඉවත් කරමින් අධිකරණය භාරයේ තිබු විදේශ ගමන් බලපත්‍රය නැවත ඔහුට ලබා දීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥ සනත් විජේවර්ධන මහතා ගොණු කළ මෝසමක් අනුව සම්පත් අබේකෝන් / සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දී තිබෙනවා.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට එරෙහිව අපරාධමය හෝ සිවිල් නඩුවක් පැවරීම හෝ පවත්වාගෙන යාමට නීතිමය අයිතියක් නොමැති බවයි.

ඒ අනුව අදාල චෝදනාවලින් ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් කරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එමෙන්ම මෙම නඩුවේ අනෙක් විත්තිකරුන් 06 දෙනා සම්බන්ධයෙන් අනුගමනගය කරන ක්‍රියාමාර්ග ඉදිරියේදී දැනුම් දෙන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.