LPL යළිත් කල්දමයි

2020-09-30 at 12:53

නොවැම්බර් 14 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලිය නොවැම්බර් 21 වැනිදා දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණයට එළැඹ ඇත්තේ රජය විසින් පනවා ඇති නිරෝධායන රෙගුලාසි සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.

එමෙන්ම මෙලෙස දින කිහිපයකින් තරගාවලිය කල් දැමීම ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වී සිටින ක්‍රීඩකයන්ටද පහසුවකි.

“අයි. පී. එල්. තරගාවලිය නොවැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වෙන හින්දා එල්. පී. එල් සඳහා සහභාගි වන ක්‍රීඩකයන්ට විරාමයක් ලබා දිය යුතු බවට අපි තීරණය කළා. ඒ නිසා අයි.පී.එල්. තරගාවලිය සඳහා සහභාගි වී සිටින එල්.පී.එල්. සඳහා සහභාගි වීමට බලාපොරොත්තු වන ක්‍රීඩකයන්ට තරගාවලියේ මේ වෙනස පහසුවක් වේවි” එල්.පී.එල්. තරගාවලියේ අධ්‍යක්ෂ රවීන් වික්‍රමරත්න මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ එසේය.

තරගාවලියෙ දින වෙනස් වීම මත ඔක්තෝබර් 01 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඔක්තෝබර් 09 වැනිදා දක්වා කල් දමා ඇති අතර එල්.පී.එල්. තරගාවලිය සඳහා තරග වදින කණ්ඩායම් පහට විදේශීය ක්‍රීඩකයන් හය දෙනා බැගින් මිලදී ගැනිමේ හැකියාව ඇත.