PHOTOS: අතුරුදන්ව සිටි ගලේවෙල දරුවාගේ මළ සිරුර හමුවෙයි – සැක රැසක්

2020-08-01 at 11:46

රෙදි කැබැල්ලකින් ගෙළ සිර කොට ඝාතනය කර තිබූ අවුරුදු 8 ක පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් ගලේවෙල පත්කොළගොල්ල ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී 31 දින පස්වරුවේ සොයා ගත් බව ගලේවෙල පොලිසිය කියයි.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මව් සෙනෙහස අහිමි වූ ඥාති නිවසක හැදී වැඩුණු සනුජ පෙරේරා නැමැති කුඩා දරුවෙකි.

තිස් එක් වන දින පස්වරුවේ මෙම දරුවා පදිංචිව සිටි ඥාතීන් නිවස ආසන්නයේ ඇළ මාර්ගයක් වෙලක් අසල සිටියදී එකවරම මෙම දරුවා අතුරුදන් වීමත් සමග නිවැසියන් මෙම දරුවා සෙවීමට පටන් ගෙන ඇතැයි පොලිසිය කියයි.

පසුව ඥාතීන් දරුවාගේ පියාට ද කතා කොට දරුවා නොමැතිබව පවසා ඔවුහු  නිවස තුළත් ගෙවත්තේ එම ආසන්නයේ පිහිටි වේලේ මෙන්ම ඇළ මාර්ගයේ ද පරීක්ෂාකර බැලීමේදී මෙම දරුවා ගේ මළ සිරුර ඇල ඇතුළේ තිබී සොයාගෙන ගලේවෙල රෝහලට රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙම දරුවාගේ   ගෙළ ප්‍රදේශයට රෙදි කැබැල්ලකින් සිරකොට  මුහුණේ සෑම තැනම  වැලි තැවරී  තිබුණු බව පොලිසියේ පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

මෙම දරුවා පදිංචි නිවෙස ඉදිරිපිට විවිධ සාදවලට ඉඩහසර ලබා දෙන ස්ථානයක් බවත්  ඇළ මාර්ගය විවිධ මත්ද්‍රව්‍ය භාවිතා කරන අයගේ තෝතැන්නක් බවට පත්ව ඇති බව පොලීසිය කියයි. දරුවා ඝාතනය වූ ස්ථානය ආසන්නයේ හෙරොයින් මත් කුඩු භාවිතා කළ සුන්බුන් රැසක් ද දැක ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

එමෙන්ම මෙම දරුවා සෙවීමේ කටයුතු සිදු කරද්දී  යම්කිසි මත්ද්‍රව්‍ය භාවිතා කළ අයෙකු බවට සැක කරන පුද්ගලයෙකු හිස නමාගෙන ඇල ආසන්නයේ සිටි බව මියගිය දරුවාගේ මිත්තණිය අප සමග පැවසුවාය.

මේ පිළිබඳව මාතලේ පොලිසියට අනුයුක්ත සෝකෝ නිලධාරීන් 01 පෙරවරුවේ පැමිණ සිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබුණු අතර දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.

මෙම දරුවාට ලිංගික අතවරයක් සිදු කොට මරා දමන්නට ඇතැයි යන බරපතළ සැකය මත පරීක්ෂණ පවත්වන බව ගලේවෙල පොලිසියේ උසස් නිලධාරියෙකු පැවැසීය.

ගලේවෙල බම්බාව ප්‍රාථමික විදුහලේ තුන් වැනි වසරේ ඉගෙනුම ලබන මෙම දරුවාගේ මව මීට කලකට ඉහතදී  ප්‍රදේශයෙන් පිටත්ව ගොස් ඇති බවද පවුලේ ඥාතීන් පැවසූහ. ඉන්පසු මෙම දරුවා පියාගේ ළඟම ඥාති නිවසක හැදී වැඩී ඇති බවද පොලිසිය කියයි.

මෙම දරුවා ඝාතනය කළ පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය කර ගෙන නොමැති අතර ගලේවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

රෙදි කැබැල්ලකින් ගෙළ සිර කොට ඝාතනය කර තිබූ අවුරුදු 8 ක පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් ගලේවෙල පත්කොළගොල්ල ප්‍රදේශයේ ඇළ…

Posted by Rhythm World News on Friday, 31 July 2020