Update: උදයංග ලබන 17 තෙක් රිමාන්ඞ්

2020-02-14 at 19:00

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.

විදේශගතව සිටි ඔහු අද අලුයම 4 යි 30 ට පමණ දිවයිනට පැමිණි අවස්ථාවේදීයි කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැණුනේ.

පොලිසිය පැවසුවේ පැවති නිදහස් සන්ධාන රජය සමයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිළදී ගැනීමේ ගණුදෙනුවේදී සිදුවූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයට අදාළව උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගත් බවයි.

රහස් පොලිසිය විසින් ප්‍රථමයෙන් ඔහු සිය භාරයට ගෙන ප්‍රශ්න කල අතර අනතුරුවයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සම්බන්ධයෙන් ප්‍රථමයෙන් විමර්ශන ආරම්භ කරනු ලැබුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයයි. ඒ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පණත යටතේයි.