‘අඩු සැළකිලි’ ගැන ලංකාවෙන් ICC ට පැමිණිල්ලක්

2019-06-14 at 20:49

එංගලන්තයේ මේ දිනවල පැවැත්වෙන ජගත් ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අසාධාරණකම් සිදු වී ඇති බව පවසමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරිත්වය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත (ICC) පැමිණිලි කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු අසන්ත ද මෙල් බීබීසී සිංහල සේවයට පැවසුවේ කරුණු ගණනාවක් උඩ මෙම පැමිණිල්ල සිදුකළ බවය.

ශ්‍රී ලංකා කණ්ඩායමට මෙතෙක් ලබාදී තිබු තණතීරු, වේග පන්දුයවනන්ට වාසිදායක තණකොළ සහිත තණතීරුවූ අතර අනිකුත් කණ්ඩයාම්වලට පිතිකරුවන්ට වාසිදායක තණතීරු ලබාදී තිබූ බවට ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිත්වය චෝදනා කරයි.

“ඕවල් ඕස්ට්‍රේලියා තරගයටත් අපිට ලබාදීලා තියෙන්නේ තණකොළ සහිත විකට්ටුවක්. අනිත් කණ්ඩායම් වලට දුන්නේ දුඹුරු විකට්ටුවක්. මේක අසාධාරණයි. අපි මේ ගැන ICC එකට කිව්වා” අසන්ත ද මෙල් කියා සිටියේය.

තණකොළ සහිත විකට්ටු ලබාදෙන්නේ නම් සියළු කණ්ඩායම් වලට සමව ඒවා ලබා දිය යුතු බව පවසන අසන්ත ද මෙල් ශ්‍රී ලංකාවට පමණක් එවැනි විකට්ටු ලබාදෙන්නේ ඇයි දැයි ප්‍රශ්න කරයි.

ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ද අදහස් පළ වී තිබුණි.

තණතීරුවලට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදී තිබෙන පහසුකම්ද අනිත් කණ්ඩායම් සමග සැසඳීමේදී ඉතා අඩු මට්ටමක පවතින බව ද බව අසන්ත ද මෙල් පවසයි.

“අපිට බ්‍රිස්ටල් වල දීපු හෝටලේ පිහිනුම් තටාකයක් වත් නැහැ. වේගපන්දු යවන්නන් පුහුණුවීම් වලින් පස්සේ පිහිණුම් තටාකයට යන්න ඕනේ. අනිත් කණ්ඩායම් හිටපු හෝටලේ ඒ පහසුකම් තිබුණා. මේ වගේ කරුණු 7ක් ගැන අපි අපේ විරෝධය සඳහන් කළා” කණ්ඩායමේ කළමනාකරු කියා සිටියේය.

ලෝක කුසලානයට තරඟ වැදී සිටින අනෙක් කණ්ඩායම් ප්‍රවාහනය සඳහා විශාල බස්රථ ලබාදී තිබුණත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදී තිබෙන්නේ කුඩා බස් රථයක් බව පැවසූ ඔහු එහි ශ්‍රී ලංකා කණ්ඩායම හිරවී ගමන් කිරීමට සිදුවී ඇති බව පවසයි.

ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ඇඳුම් පවා හෝටල් තුළ අස්ථානගතවී තිබෙන බව පැවසූ කණ්ඩායමේ කළමනාකරු කියා සිටියේ, ලෝක කුසලානය වැනි තරඟාවලියකදී ලබාදී තිබෙන මෙවැනි අඩු සැළකිලි ගැන තම විරෝධය පළකරන බවය.

මේ අතර ශ්‍රී ලංකාවට ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිකුරාදා (ජුනි 14) රාත්‍රියේ එංගලන්තයට පැමිණ කණ්ඩායමට එක්වන බවද අසන්ත ද මෙල් කියා සිටියේය.

(BBC Sinhala)