ක්‍රිකට් ක්‍රීඩකයෙකු හා සෞඛ්‍ය නිලධාරිනියක අතර සිද්ධිය ගැන වාර්තාවක් කැඳවයි

2021-01-21 at 17:15

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු කණ්ඩායමට අනුයුක්ත කර ඇති සෞඛ්‍ය නිලධාරිනියක සමග අනිසි ලෙස හැසිරී ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වාර්තාවක් කැඳවා තිබෙනවා.

අදාළ මාධ්‍ය වාර්තාවල සඳහන් තොරතුරුවල සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙසයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කණ්ඩායමේ කළමනාකරු අසන්ත ද මෙල් මහතාට උපදෙස් දී ඇත්තේ.

එම වාර්තාව ලද පසු, අවශ්‍යතාවයක් මතුවුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පරීක්ෂණයක් පවත්වන බවද ඔවුන් නිකුත්කළ නිවේදනයක සඳහන්.

අදාළ චෝදනාව එල්ලවී ඇති ක්‍රීඩකයා මේ වන විට එංගලන්තය සමග තරග කිරීමට නම්කර ඇති සංචිතයේද සාමාජිකයෙකු වනවා.

එම චෝදනා ඔප්පුවුවහොත් අදාළ ක්‍රීඩකයාට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කරන්නේ.