තමීම් ඉක්බාල්ගේ නිවාඩු අනුමත වෙයි

2019-08-11 at 10:19

බංගලිදේශ ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල්ට කෙටි කාලීන විවේකයක් ලබාදීමට බංගලිදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිඛෙනවා.

පළපුරුදු ආරම්භක පිතිකරුවා සිදු කළ පෞද්ගලික ඉල්ලීමක් සලකා බලමින් ඔවුන් එම තීරණය ගෙන ඇති බවයි ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කළේ.

ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන ඇෆ්ගනිස්ථානයට එරෙහි ක්‍රිකට් තරඟමාලාව තමීම් ඉක්බාල්ට අහිමි වනවා.

ආබාධයකින් තොරව සිටින සමයක ඔහු කණ්ඩායමේන් ඉවත් වු පළමු අවස්ථාව මෙය බවයි හෙළි වන්නේ.

ලබන නොවැම්බරයේදී ඉන්දියාව සමග පැවැත්වෙන ටෙස්ට් හා 20 යි 20 ක්‍රිකට් තරගමලා දෙකේදී තමීම් ඉක්බාල් නැවත කණ්ඩායමට එක්වීමට නියමිතයි.

බංගලිදේශ තුන් ඉරියව් ක්‍රිඩකයෙකු වන ශකීබ් අල් හසන්ද මීට පෙර අවස්ථා දෙකකදී මෙලෙස කෙටි කාලීන විවේක කාලසීමා ලබා ගෙන ඇති බවයි ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ.