දිමුත් එක් දින නායකත්වය අභියස ?

2019-03-19 at 13:56

මෙවර ලෝක කුසලාන තරඟමාලාවේදී ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් නායකත්වය ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට පැවරීම සම්බන්ධයෙන් තේරීම් කමිටුවේ අවධානය යොමු වී තිබෙනවා. ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය පවසන්නේ තේරීම් කමිටුව ඒ සම්බන්ධයෙන් ආරම්භක පිතිකරුවාට ඉඟි පල කර ඇති බවයි.

ලබන මස පැවැත්වෙන දේශීය පළමුපෙල කණ්ඩායම්වල එක් දින තරඟමාලාවට සහභාගී වන ලෙසයි තේරීම් කමිටුව ඔහුට දන්වා ඇත්තේ. එහිදී එක් දින කණ්ඩායමට එක් වීම සම්බන්ධයෙන් දිමුත් කරුණාරත්නගේ යෝග්‍යතාව සහ සුදුසුකම් තක්සේරු කිරීමට නියමිතයි.

මෙම තත්වය මත දිමුත් කරුණාරත්නගේ ප්‍රාන්ත ක්‍රිකට් සංචාරය අහෝසි කිරීමට සිදුවනු ඇති බවයි අනාවැකි පල වන්නේ. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවා මෙවර තරඟවාරය සඳහා එංගලන්තයේ හැම්ප්ශයර් ප්‍රාන්ත කණ්ඩායම සමග ගිවිසුම්ගතව සිටිනවා. එහෙත් එක් දින කණ්ඩායමට කැඳවුවහොත් ඔහුට ප්‍රාන්ත තරඟාවලිය අහිමිවන බවයි ක්‍රික් ඉන්ෆෝ වේබ් අඩවිය සඳහන් කළේ.

මෙවර දකුණූ අප්‍රිකා සංචාරයේදී ටෙස්ට් තරඟ දෙක ජය ගනිමින් ශ්‍රී ලංකාවට ටෙස්ට් තරඟමාලා ජයක් ලබාදීමට දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. එබැවින් මෙවර ලෝක කුසලානයේදීත් ශ්‍රී ලංකා පිල මෙහෙයවීමේ වගකීම ඔහුට පැවරීම වත්මන් තත්වයට හොඳම විකල්පය බවයි ඇතැමි විචාරකයින්ගේ මතය වී ඇත්තේ.

දිමුත් කරුණාරත්න මේ දක්වා කටයුතු කළේ ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරුවකු ලෙසයි. දිර්ඝ කාලයක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමග රැඳී සිටියද ඔහු මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ එක් දින තරඟ 17 ක් පමණයි. එම තරඟවලදී කැපී පෙනන දස්කම් දැක්වීමට ඔහුට අවස්ථාව උදාවුයේ නැහැ.