පකිස්ථානයේදී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව එරට යුධ හමුදාව යටතට

2019-09-20 at 05:56

තරග සංචාරයක් සඳහා පැමිණෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය පකිස්ථාන යුධ හමුදාව වෙත පවරා දී තිඛෙනවා.

රාජ්‍ය නායකයෙකුට සමාන ආරක්ෂාවක් එරටදී ඔවුන්ට ලැබීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට ඉහළම ආරක්ෂාවක් සළසන බවට පකිස්ථාන රජය විසින්ද සහතික වී තිඛෙනවා.

ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් ලැබී ඇති තහවුරු කිරීම් හමුවේ පකිස්ථාන සංචාරය සැළසුම් කල පරිදි ක්‍රියාවට නංවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කලා.

සමස්ත සංචාරය පුරාවට ශ්‍රී ලංකා කණ්ඩායමට උපරිම ආරක්ෂාවක් සපයන බවටයි පකිස්ථාන රජය දැනුම් දී ඇත්තේ.

එමෙන්ම එරටදී ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්ත තර්ජනයක් ඇති බවට කිසිදු බුද්ධි තොරතුරක් ආරක්ෂක අමාත්‍යංශයට ලැබී නොමැති බවයි එහි ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් ජේ ආර් කුලතුංග මහතා දන්වා ඇත්තේ.

පකිස්ථානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයද අවධාරණය කර ඇත්තේ එවන් තර්ජනයක් පිළිබඳ තමන්ටද කිසිදු තොරතුරක් ලැබී නොමැති බවයි.

මේ අනුව සැළසුම් කල පරිදිම එක්දින තරග 3 ක සහ 20-20 තරග 3 ක සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන සතියේ පකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතයි.