පාකිස්ථානය ජගත් ක්‍රිකට් පවුලේ ප්‍රභල සාමාජිකයෙක් – සංගක්කාර

2020-02-14 at 10:44

ජාත්‍යන්තර මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාව සක්‍රීයව පවත්වා ගැනීමට පාකිස්ථානයේ දායකත්වය තීරණාත්මක බව සුප්‍රකට එම් සී සී ක්‍රීඩා සමාජයේ සභාපති සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර පවසනවා.

එබැවින් පාකිස්ථානය ජාත්‍යන්තර ක්‍රිකට් කරලියේ ක්‍රියාකාරී සාමාජිකයෙකු විය යුතු බවයි සංගක්කාර පෙන්වා දෙන්නේ.

පාකිස්ථානයේ සංචාරයක නිරත එම් සී සී ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ලාහෝර් නුවර පැවති මාධ්‍ය හමවකදී ඔහු මෙම අදහස් පල කළා.

පාකිස්ථානයට සිය රට තුලදී ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්විය හැකිය යන පණිවිඩය ලබා දීමට මෙම සංචාරය ඉවහල් වනු ඇතැයි සුපිරි ක්‍රීඩකයා විශ්වාසය පල කරනවා.

2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්ථානයේ ලාහෝර් නුවරදී ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වුණා.

අනතුරුව දශකයකට ආසන්න කලයක් පාකිස්ථානයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීමේ අවස්ථාව අහිමි වි ගියේ කිසිදු රටක් පාකිස්ථානයේ තරග සංචාරවලට එක් නොවිම හේතුවෙනුයි.

එහෙත් පසුගිය සමයේදී ශ්‍රී ලංකාව හා බංගලිදේශ පාකිස්ථානයේදී ක්‍රිකට් තරගමාලාවලට සහභාගී වුණා.

ලබන මාසයේදී දකුණූ අප්‍රිකා කණ්ඩායමද පාකිස්ථානයට පැමිණීමට නියමිතයි.

ජාත්‍යන්තර කණ්ඩායම් පාකිස්ථානයට පැමිණීම දිරිගැන්වීම සඳහායි සුප්‍රකට එම් සී සී ක්‍රීඩා සමාජයේ කණ්ඩායමක් පාකිස්ථානයේ ක්‍රිකට් තරග සංචාරයකට එක් වන්නේ.

ඔවුන් අද සිට පාකිස්ථානයේදී 20 යි 20 තරග හතරකට සහභාගී විමට නියමිතයි.