ලෝක ශූරතාවය දිනූ ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

December 1, 2018

ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ පැවති විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශූරතාවය දිනා ගෙන 12/01 දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් මව්බිම වෙත පැමිණියහ.

ඔවුන් 12/01 දින උදෑසන 8.50 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 192 දරන ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර, ඔවුන් පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, ක්‍රීඩා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්, ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත සංගම් වල නිලධාරීන් මෙන්ම එම ක්‍රීඩකයින්ගේ දෙමාපිය, නෑදෑ හිතවතුන් විශාල පිරිසක් ද ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

මෙම සියලු ජයග්‍රාහී ක්‍රීඩකයින් සහ එම කණ්ඩායමේ නිලධාරීන් ක්‍රිඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් මල් මාල පළදවමින් ඉතා උසස් ආකාරයට පිළිගනු ලැබීය .

එහිදී අදහස් දැක්වූ මෙම ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරිනිය ඉන්ද්‍රානි ආරියරත්න මහත්මිය.

මෙම ක්‍රිකට් කණ්ඩායමට මුලින්ම අපි 60 දෙනෙකු තෝරා ගත්තා. ඔවුන් අතරින් සුපිරි දස්කම් දැක්වූ 15 දෙනෙකු අපි අවසාන වශයෙන් කණ්ඩායම වශයෙන් තෝරා ගත්තා.

මේ කණ්ඩාය සතියකට දින 03 ක් බැගින් මාස 05 ක් වැනි සුළු කාළයක් පුහුණුවීම් වල නිරත උනා .

මෙම ජයග්‍රහණයට අපේ කණ්ඩායමේ පුහුණුකරුවන්ගේ උනන්දුව සහ කැපවීම විශාල වශයෙන් හේතු උනා .

මෙම තරගාවලියට රටවල් 08 ක් සහභාගි වීමට නියමිතව සිටියත්, බංගලාදේශය, පකිස්තානය සහ එංගලන්තය යන රටවල්, ඒ රටවල පැවති ගැටලු නිසා අවසාන මොහොතේ සහභාගි උනේ නැහැ. ඒත් ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව වැනි එරට ජාතික පුහුණුකරුවන් යටතේ ක්‍රීඩා කළ කණ්ඩායම් මෙම තරගාවලියේ දී අපි පරාජයට පත් කළා. එයින් අපගේ ක්‍රීඩකයින්ගේ චිත්ත ශක්තිය මහත් සේ ඉහළ නැන් උනා .

අපගේ ක්‍රීඩකයින් ක්‍රීඩා කරන අතරතුර තුවාල සිදු උනත් , ඒවා අමතක කර , තරගය නිමා වන තෙක් ක්‍රීඩා කළා.
එයත් මෙම ජයග්‍රහණයට හේතුවක් උනා.

අපි ඉන්දියාව තුන් වරක් මෙම තරගාවලියේ දී පරාජයට පත් කළා යැයි ද ඇය වැඩිදුරටත් පැවසුවාය .

මෙම ජයග්‍රහණය නිසා ලබන වසරේ නොවැම්බර් මාසයේ රටවල් 05 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන ජාත්‍යන්තර ශ්‍රව්‍යාබාධිත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියක් සදහා ආරාධනා දැනටමත් අපේ කණ්ඩායමට ලැබී තිබෙනවා යැයි ද ඇය අනාවරණය කළාය.

මෙහිදී අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා

“මෙය ඉතා උසස්, විශිෂ්ඨ ජයග්‍රහණයක් .මෙම ජයග්‍රහණය රටේ අනෙකුත් ක්ෂේත්‍ර වල සිටින ක්‍රීඩකයින්ට හොද පාඩමක්. මොවුන් ඉතා දැඩි අපහසුතා මධ්‍යයයේ ක්‍රීඩා කරමිනුයි මෙම ජයග්‍රහණය ලබා ගත්තේ. මම මෙම ක්‍රිකට් කණ්ඩායම , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ කිරීමට පියවර ගන්නවා .එවිට මෙම ක්‍රීඩකයින්ට දක්ෂ පුහුණුකරුවන් හිම් වන අතර , ජාතික කණ්ඩායමේ සිටින ක්‍රීඩකයින්ට හිමි වන සියලු වරප්‍රසාද ද හිමි වෙනවා. එයින් මොවුන් මුහුණ දෙන සම්පත් ඌනතාවයට ද පිළියමක් ලැබෙනවා යැයිද වැඩිදුරටත් පැවසීය”