ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඇති තර්ජනයක් ගැන අපි දැනුවත් නෑ – PCB

2019-09-12 at 11:07

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වී ඇතැයි කියන ත්‍රස්ත තර්ජනයක් පිළිබඳ කිසිදු තොරතුරක් තමන්ට ලැබී නොමැති බව පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කලේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනය සම්බන්ධයෙන් තමන්ද දැනුවත් බවයි.

එහෙත් කිසිදු පූර්ව අනතුරු ඇගවීමක් තමන්ට මේ දක්වා ලැබී නොමැති බවයි පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කලේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට උපරිම ආරක්ෂාව සැලසීමට සූදානම් බවත් මීට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවත් අදාළ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.

පකිස්ථාන සංචාරය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත අවධානමක් පවතින බවට අග්‍රාමාත්‍ය කාර්යාලයට විශ්වාසදායක තොරතුරක් ලැබී තිඛෙනවා.

ඒ අනුව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ක්‍රීඩා අමාත්‍යංශය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත එවා තිබූ අනතුරු ඇගවීමක් සැලකිල්ලට ගෙන ක්‍රිකට් ආයතනය රජයෙන් ඉල්ලා තිබුණේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පකිස්ථාන සංචාරයට පෙර එරට ආරක්ෂක වාතාවරණය පිළිබඳ විමසුමක් සඳහා සහය වන ලෙසටයි.