සුපිරි පන්දුවාරයෙන් බැංගලෝරයට සුපිරි ජයක්

2020-09-29 at 06:45

මෙවර අයි පී එල් තරග මාළාවේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම සමග ඊයේ පැවති තරගය සුපිරි පන්දුවාරයෙන් ජය ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්වුනා.

තරගය පැවැත්වුනේ ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියි.

තරගයේ කාසිය වාසිය දිනු මුම්බායි ඉන්ඩියන්ස් පිළ පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

බැංගලෝර් පිළ වෙනුවෙන් දෙව්දත් පඩික්කාල් ලකුණු 54 ක්ද / ඒරන් ෆින්ච් ලකුණු 52 ක්ද / ඒ බී ඩිවිලියර්ස් ලකුණු 55 ක්ද රැස් කළා. නායක විරාට් කෝලි ලකුණු 3 කට දැවී ගියා.

නියමිත පන්දුවාර 20 අවසානයේ බැංගලෝර් ලකුණු පුවරුව දැක්වුනේ කඩුලු 3 ක් දැවී ලකුණු 201 ක් වශයෙන්.

ලකුණු 202 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි මුම්බායි පිළ පන්දුවාර 20 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 201 ක් රැස් කිරීම හේතුවෙන් දෙපිලේම ලකුණු තත්වය සමවුනා.

අගනා ඉනිමන් ක්‍රීඩා කළ මුම්බායි පිළේ ඉෂාන් කිෂාන් ලකුණු 99 ක් ලබා ශතකයක් රැස් කිරීමට ආසන්නව සිටියදී අවාසනාවන්ත අන්දමින් දැවී ගියා.

කිරන් පොලාඩ් නොදැවී ලකුණු 60 යි. බැංගලෝර් පිළ වෙනුවෙන් දස්කම් දැක්වු ලාංකික ක්‍රීඩක ඉසුරු උදාන ලකුණු 45 කට කඩුලු 2 ක් දවා ගත්තා.

කණ්ඩායම් දෙකේම ලකුණු තත්වය සමාන වීම නිසා සුපිරි පන්දුවාරයක් ඔස්සේ ජයග්‍රාහකයා තේරීමටයි සිදුවුනේ.

බැංගලෝර් පිළ වෙනුවෙන් සුපිරි පන්දුවාරය ක්‍රියාත්මක කළේ නව්දීප් සයිනි.

මුම්බායි පිළේ කිරන් පොලාඩ් / හර්ඩික් පාණ්ඩියා හා නායක රෝහිත් ෂර්මා සුපිරි පන්දුවාරයට මුහුණ දුන්නා.

මුම්බායි පිළ සුපිරි පන්දුවාරය තුල එක් කඩුල්ලක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 7 ක්.

තරගය ජය ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිළට සුපිරි පන්දුවාරයේ හිමිවු ඉලක්කය ලකුණු 8 ක්.

මුම්බායි පිළ වෙනුවෙන් සුපිරි පන්දුවාරය ක්‍රියාත්මක කළේ ජස්ප්‍රිට් බුම්රායි. බැංගලෝර් නායක විරාට් කෝලි හා ඒ බී ඩිවිලියර්ස් ඊට මුහුණ දුන්නා.

කිසිදු කඩුල්ලක් නොදැවී සුපිරි පන්දුවාරය තුළ ලකුණු 11 ක් රැස් කළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිළ මෙම තරගය ජය ගත්තා.

තරගයේ විරයා බැංගලෝර් පිළේ ඒ බී ඩිවිලියර්ස්.