IPL 2020 : හයිද්‍රාබාද් පරදා චෙන්නායි ජය ගනී

2020-10-14 at 06:34

මෙවර අයි පී එල් තරගාවලියේ සන්රයිසස් හයිිද්‍රාබාද් කණ්ඩායම සමග ඊයේ පැවති තරගය ලකුණු 20 කින් ජය ගන්නට චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සමත්වුනා.

තරගය පැවැත්වුනේ ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියි. කාසියේ වාසිය දිනු චෙන්නායි පිළ පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

මෙතෙක් චෙන්නායි පිළේ මැදපෙළ පිතිකරුවෙක් ලෙස කටයුතු කළ සෑම් කරන් ඊයේ ආරම්භක පිතිකරු ලෙස ෆැෆ් ඩුප්ලෙසිස් සමග ඉනිම ආරම්භ කිරීම විශේෂත්වයක්.

කන්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදුන් සෑම් කරන් හයේ පහර 2 ක් හා හතරේ පහර 3 ක් සහිතව ලකුණු 31 ක් ලබා ගත්තා. අම්බටි රයිදු ලකුණු 41 යි.

නියමිත පන්දුවාර 20 අවසානයේ චෙන්නායි ලකුණු පුවරුව දැක්වුනේ කඩුලු 6 ක් දැවී ලකුණු 167 ක් වශයෙන්. ලකුණු 168 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය සන්රයිසස් පිළට පන්දුවාර 20 තුල කඩුලු 8 ක් දැවී රැස් කර ගත හැකි වුනේ ලකුණු 147 ක් පමණයි.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ කේන් විලියම්සන් ලකුණු 57 ක් රැස් කළත් එය සන්රයිසස් පිළේ ජයග්‍රහණයට ප්‍රමාණවත් වුනේ නැහැ.

නොදැවි ලකුණු 25 ක් ලබාගනිමින් හා එක් කඩුල්ලක් දවා ගනිමින් දක්ෂතා දැක්වු චෙන්නායි පිළේ රවින්ද්‍ර ජඩේජා තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.

මේ අතර අයි පී එල් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්විමට නියමිතයි. ඒ දිල්ලි කැපිටල්ස් පිළ හා රාජස්ථාන් රෝයල්ස් පිළ අතරයි.

ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියි තරගය පැවැත්විමට නියමිතව ඇත්තේ.

මෙවර අයි පී එල් ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට පළමු ස්ථානයේ පසුවන්නේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමයි.

දෙවන ස්ථානය දිල්ලි කැපිටල්ස් පිළටත් / තුන්වන ස්ථානය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිළටත් හිමිව තිඛෙනවා. කොල්කටා පිළ එහි සිව්වන ස්ථානයේයි පසුවන්නේ.