LPL අක්‍රමිකතා වැළැක්වීමට සියලු පියවර – ICC සහයත් ගනී

2020-11-21 at 16:30

ලබන සතියේ ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී සිදුවිය හැකි සියලු අක්‍රමිකතා වැළැක්වීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්දන ඒකකයේ සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ සහයෝගයෙන් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක වනු ඇති.

අවශ්‍ය වුවහොත් රජයේ ආරක්ෂක අංශවල දායකත්වයද ඊට ලබා ගැනීමට නියමිතයි.

සෑම තරගයකම / සෑම ඉසව්වකම මෙන්ම සමස්ත තරගාවලිය පුරා හෝටල් ඇතුලු සෑම ස්ථානයකම වගකිව යුතු නිළධාරීන් විමසිල්ලෙන් සිටින බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ.

තරග පාවාදීම් හෝ එවැනි ඕනෑම අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් තොරතුරු ලද වහා දූෂණ මර්දන ඒකක දැනුවත් කර රහසිගතව ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිතයි.

මෙවැනි තොරතුරු දැනුම්දීම සඳහා සමස්ත තරගාවලිය පුරා පැය 24 ම ක්‍රියාත්මක දුරකථන අංකයක් හඳුන්වාදීමටද නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිළධාරී ඈෂ්ලි ද සිල්වා මහතා විසින් සියලුම කණ්ඩායම් හිමිකරුවන්ද මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ.