අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව හොරණදී විවෘත කෙරේ

2021-01-14 at 16:51

අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබෙනවා.

හොරණ, වගවත්ත, අපනයන සැකසුම් කලාපයේයි එය ඉදි කර ඇත්තේ.

හොරණ වගවත්ත ආයෝජන මණ්ඩල කාර්මික කලාපයට අයත් අක්කර 155ක භූමියක කර්මාන්ත පරිශ්‍රය ස්ථාපනය කර තිබේ.

පළමු අදියර සඳහා කර ඇති ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 100කි.යුරෝපා තාක්ෂණය සහිත ලොව නවීනතම යන්ත්‍රෝපකරණ භාවිතයෙන් නිෂ්පාදන සිදු කෙරේ.

SUV රථ සඳහා විශේෂ කාණ්ඩයක්,  මෝටර් රථ, යතුරු පැදි, ත්‍රී රෝද  ඇතුළු ලෝක වෙළඳපොළට අවශ්‍ය ටයර් වර්ග රැසක් මෙහි නිපදවනු ලැබේ.නිෂ්පාදනයෙන් 80%ක් අපනයනය කෙරෙන අතර ඉතිරි 20% දේශීය වෙළෙඳපොළට සැපයේ.

සමාගමේ ප්‍රථම නිෂ්පාදන තොගය මේ මස ඇමෙරිකාවට අපනයනය කිරීමට නියමිත ය.

මෙරට අපනයන වෙළෙඳපොළ ප්‍රවර්ධනය, සෘජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය සහ දේශීය රබර් වගාකරුවන්ට ඉහළ මිලක් හිමිවීම කර්මාන්තශාලාවෙන් හිමිවන ප්‍රතිලාභ අතර වෙයි.

නිෂ්පාදන ක්ෂේත්‍රයේ පැවති සම්මත සීමාවන් අභිබවා යමින් තාක්ෂණික අංශවල තනතුරු සඳහා නිසි සුදුසුකම් සපිරෑ කාන්තාවන් බඳවා ගැනීමට ද ආයතන කළමනාකාරිත්වය පියවර ගෙන තිබේ.

කර්මාන්තශාලාව පරිසර හිතකාමී ලෙස ඉදිකිරීම ද විශේෂත්වයකි.