අනුරාධපුරයේ සියලු සුරාසැල් අද වැසෙයි

2019-06-13 at 07:05

ලබන ඉරිදාට යෙදී ඇති පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුරයේ පිහිටි පුදබිම් මුලික කර ගනිමින් අද සිට විශේෂ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක වනවා.

ඊට සමගාමීව අද සිට ලබන 19 වනදා තෙක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු සුරා සැල් වසා තැබීමටයි තීරණය කර ඇත්තේ.

මෙවර පොසොන් සතියේදී අනුරාධපුර පුදබිම් වෙත ලක්ෂ 11 කට ආසන්න බැතිමතුන් පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂිතයි. එම ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ද විශේෂ විධාවිධාන යොදා තිබෙනවා. මේ අතර පොසොන් උත්සවය වෙනුවෙන් අද සිට ලබන 18 වනදා දක්වා සතියක කාළය තුල අනුරාධපුරය / මිහින්තලේ සහ තන්තිරිමලේ අධ්‍යාපන කොට්ඨාශවල පාසල් 11 ක් වසා තැබෙන බව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය / ස්වර්ණපාලි ජාතික පාසල / වළිසිංහ හරිස්චන්ද්‍ර පාසල / ශාන්ත ජෝසෆ් විද්‍යාලය / විවේකාන්ද විද්‍යාලය ඇතුලු පාසල් 11 ක් අදාල කාලසීමාව තුල මෙලෙස වසා තැබෙනු ඇති.

පොසොන් උත්සව සමයේ විශේෂ රාජකාරී සඳහා පිට පලාත්වල සිට පැමිණෙන ආරක්ෂක අංශ නිළධාරින්ට නවාතැන් පහසුකම් සැපයීම වෙනුවෙන් මෙම පාසල් වසා තැබෙන බවයි උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.