අපි චීනය වගේ නොවේ / ලංකාවට මිතුරුයි – දිනේෂ් හමුවූ පොම්පෙයෝ කියයි

2020-10-28 at 12:07

දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි අමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසුණා.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලේනා ටෙප්ලිට්ස් මහත්මියද එක්ව සිටියා.

රාජ්‍ය ලේකම්වරයා අනතුරුව සහභාගී වූයේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවති සාකච්ඡාවටයි.

පසුව දෙපාර්ශවය සහභාගී වු ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද පැවැත්වුණා.

අමෙරිකා රාජ්‍ය ලේකම්වරයා එහිදී සඳහන් කලේ චීනය මෙන් නොව අමෙරිකාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.

සංවර්ධනයේදී ස්වෛරී සහ ස්වාධීන රටක් ලෙස ශ්‍රී ලංකාව සිටීම අමෙරිකාවේ අපේක්ෂාව බවද පොම්පෙයෝ මහතා සඳහන් කලා.

අමෙරිකානු ආයෝජන සම්බන්ධයෙන්ද එම ප්‍රතිපත්තිය අනුගමනය කිරීමේ අවශ්‍යතාවය රාජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කලා.

මෙහිදී අදහස් දැක්වු විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියාසිටියේ ශ්‍රී ලංකාවේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය ඉදිරියටත් පවත්වාගෙන යන බවයි.

පොම්පෙයෝ මහතා ඇතුලු ධූත පිරිස අද දහවල් දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ඊට පෙර අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමටද ඔහු සූදානමින් පසුවනවා.

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතාගේ පළමු ධුර කාලයේදී මෙරටට පැමිණි ඉහළම අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයා වන්නේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතායි.