අලුත් අවුරුදු කොරෝනා පොකුරේ වගකීම ආණ්ඩුව භාරගතයුතුයි – විපක්ෂය පාර්ලිමේන්තුවේදී කියයි

2021-05-05 at 07:57

අලුත් අවුරුදු කොරෝනා පොකුරේ පූර්ණ වගකීම රජය විසින් භාරගත යුතු බව විපක්ෂය අවධාරණය කරනවා.

කොරෝනා වසංගතයේ වත්මන් තත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ ඊයේ පැවති සභාව කල් තැබීමේ විවාදයේදීයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා මේ බව කියා සිටියේ.

ප්‍රතිකාර කටයුතු පිළිබඳ අවධානය යොමුකරන අතරම වෛරසය රට තුල පැතිරීම වැළැක්වීමට ගතයුතු පියවර පිළිබඳ වැඩි අවධානයක් යොමුකිරීම සියලු දෙනාගේ වගකීමක් බවයි විවාදයේදී අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා කියා සිටියේ.

කොරෝනා වසංගතයේ තුන්වන අවදානම් තත්වය හමුවේ මේවනවිට සිදුවන සෑම මරණයකම වගකීම ආණ්ඩුව විසින් භාරගත යුතු බවයි විවාදයේදී අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කලේ.

කොරෝනා වසංගතය මෙන්ම රටේ අනෙකුත් ක්ෂේත්‍ර පිළීබඳ අවධානය යොමුකිරීම රජයේ වගකීම බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විවාදයේදී පෙන්වා දුන්නා.

 

කොරෝනා වසංගත තත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන සභාව කල් තැබීමේ විවාදයේ දෙවන දිනය අදයි.