ඉඩම් පනතට එරෙහි පෙත්සම් විභාගය අවසන් – තීන්දුව කථානායකට

2019-07-12 at 16:56

රජය විසින් ඉදිරිපත් කර ඇති ඉඩම් විශේෂ විධි විධාන පණත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොණුකර තිබු පෙත්සම් විභාගයේ තීන්දුව ඉදිරියේදී කථානායක වරයා වෙත යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිඛෙනවා.

අද දිනයේ පෙත්සම් විභාගය අවසන් කරමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මේ බව දැනුම් දුන් බවයි නිවුස් රේඩියෝ අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

ඉඩම් විශේෂ විධි විධාන පණත් කෙටුම්පතට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිතිඥය සිසිර ජයකොඩි සහ උදය ගම්මන්පිළ යන මහත්වරුන් ඇතුලු පිරිසක් ගොණු කළ පෙත්සම් අද සළකා බැලුනේ බුවනෙක අලුවිහාරේ / එල් ටි.බි දෙහිදෙනිය හා / ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේයි.

පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව හා එම කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතයකින් සම්මත විය යුතු බව දන්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමිනුයි මෙම පෙත්සම් ගොණු කර ඇත්තේ.

පෙත්සම් විභාගය අද දිනයේදී අවසන් කළ විනිසුරු මඩුල්ල ලිඛිත දේශණ ඇත්නම් ලබන 15 වනදා හෝ ඊට පෙර ගොණු කරන ලෙස පෙත්සම්කාර පාර්ෂවය වෙත නියෝග කළ බවයි නිවුස් රේඩියෝ අධීකරණ වාර්තාකරු කියා සිටියේ.