ඉදිරි සති දෙක තුළ බේකරි නිෂ්පාදන මිල රුපියල් දහයකින් ඉහළට ??

2021-01-17 at 07:08

ඉදිරි සති දෙක තුළ බේකරි නිෂ්පාදනවල මිල රුපියල් දහයකින් පමණ වැඩිකිරීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කලේ රජය ආනයනික පාම් ඔයිල් ලීටරයකට රුපියල් 250 ක තීරු බද්දක් පැනවීම ඊට හේතුව බවයි.

ඒ අනුව පාම් ඔයිල් ලීටරයක මිල රුපියල් 500 ඉක්මවා ගොස් ඇති අතර බේකරි නිෂ්පාදනය සඳහා බහුලව භාවිත කරන දේශීය නිෂ්පාදිත මාජරින් කිලෝව රුපියල් 600 දක්වා ඉහළ ගොස් ඇති බවයි බේකරි හිමියන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම ආනයනය කරන මාජරින්වලටද රුපියල් 400 ක ආනයන බද්දක් පනවා ඇතැයි ඔවුන් සඳහන් කරනවා.

ඒ අනුව මාජරින් කිලෝවක් මෙරටට ගෙන්වීමේදී මිල රුපියල් 1000 ද ඉක්මවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පෙන්වා දෙනවා.

දේශීය මාජරින් නිෂ්පාදකයන්ටද සහනයක් වශයෙන් පාම් ඔයිල් සඳහා වැඩිකළ තීරුබද්ද මුලින් තිබූ මට්ටමට ගෙන එන ලෙස තම සංගමය අවස්ථා ගණනාවකදී වෙළෙඳ ඇමැති, අගමැති සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතත් විසඳුමක් ලැබී නොමැති බව පෙන්වා දෙන සභාපතිවරයා බේකරි නිෂ්පාදනවල මිල අවම වශයෙන් රුපියල් 10 කින් ඉහළ නැංවීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි අවධාරණය කරන්නේ.