ඉන්දීය එන්නත කටුනායක ගුවන් තොටුපළට

2021-01-28 at 11:41

ඉන්දියාවේ පූනේ නගරයේ සෙරම් ආයතනයේ නිෂ්පාදනය කෙරෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවි ෂීල්ඩ් එන්නත් මාත්‍රා 500,000 ක් ප්‍රදානයක් ලෙස අද ශ්‍රී ලංකාවට හිමිවුනා.

එම එන්නත් රැගත් ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ අයි 281 දරන විශේෂ යානය අද පෙරවරු 11 35 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි බවයි නිව්ස් රේඩියෝ ගුවන් තොටුපල වාර්තාකරු සදහන් කළේ.

එය භාරගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද ගුවන් තොටුපළට පැමිණ සිටියා.

මෙරට සිටින ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බෝග්ලේ විසින් මෙම එන්නත් තොගය ජනාධිපතිවරයාට භාරදීමෙන් පසු ඒවා සෞඛ්‍ය අමාත්‍යංශයේ ශීතාගාර වෙත යොමුකිරීමෙන් අනතුරුව දිවයින පුරා බෙදාහැරෙනු ඇති.

අනතුරුව හෙට සිට මෙරට රෝහල් 06 කදී කොවිඩ් මර්දන එන්නත්කරණය ආරම්භ කෙරෙන අතර එම වැඩසටහනේ ප්‍රමුඛත්වය රාජ්‍ය සේවයට අනුයුක්ත සෞඛ්‍ය සේවකයින්ට හිමිවීම විශේෂත්වයක්.

කොළඹ ජාතික රෝහල / කලුබෝවිල ශික්ෂණ රෝහල / රාගම ශික්ෂණ රෝහල / අයි ඩී එච් රෝහල / හෝමාගම මූලික රෝහල සහ මුල්ලේරියාව මූලික රෝහල එම රෝහල් වනවා.

මාත්‍රාව ලබාදී සති 03 කට පසු දෙවැනි මාත්‍රාව ලබාදීමටයි කටයුතු යොදා ඇත්තේ.

අනතුරුව සාමාන්‍ය ජනතාව එන්නත්කරණයට ලක් කෙරෙන අතර එහිදී ප්‍රමුඛත්වය ලැබෙන්නේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සඳහායි.

ජාතික මැතිවරණ කොමිසමේ ඡන්ද හිමි නාමලේඛනය අනුව ඔවුන් තෝරා ගැනෙන අතර සියලූදෙනාට නොමිලයේ එන්නත් ලබාදෙන බවයි රජය සඳහන් කලේ.

එමෙන්ම ඉලක්කගත පිරිස් එන්නත් කර අවසන් කිරීමට මාස 09 කට ආසන්න කාලයක් ගතවිය හැකි බවටයි තක්සේරු කර ඇත්තේ.

අද ශ්‍රී ලංකාවට ගෙන ආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවි ෂීල්ඩ් එන්නත් නියමිත උෂ්ණත්වයේ පවත්වා ගැනීම කිසිදු ගැටලුවක් නොමැති බවයි වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා සදහන් කළේ.

මෙම එන්නත් ගබඩා කර තැබිමේදී එම උෂ්ණත්වය මැන බැලෙන යාන්ත්‍රණයක්ද මේ වන විට සකස් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.