ඉන්දීය කොවිඞ් එන්නත : ලක් අගමැතිගේ සුභ පැතුමට මෝදිගෙන් ප්‍රතිචාරයක්

2021-01-17 at 12:34

කොවිඞ්19 වෛරසයට එරෙහිව කඩිනමින් එන්නතක් හඳුන්වාදීමට හැකිවීම කොරෝනා වසංගතයට එරෙහි කඩඉමක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කරන්නේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කර තිබූ ට්විටර් පණිවිඩයකට ප්‍රතිචාර දක්වමිනුයි.

ඉන්දියාව විසින් ඊයේ ආරම්භ කල එන්නත්කරණ වැඩපිළිවෙලට සුභ පැතුම් එක් කරමින් රාජපක්ෂ මහතා සඳහන් කර තිබුණේ මෙම ව්‍යසනකාරී වසංගතයේ නිමාවක් අපේක්ෂා කල හැකි බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාද ට්විටර් සටහනක් තබා තිබුණා.

එහි දැක්වුණේ ඉන්දීය විද්‍යාඥයන් සහ ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන්ගේ අප්‍රතිහත ධෛර්යය හමුවේ එන්නත කඩිනමින් එළිදැක්වීමට හැකිවූ බවයි.

කොවිඞ් මර්දන එන්නත් වැඩසටහන යටතේ පළමු දිනය තුළ ලක්ෂ 2 කට ආසන්න පිරිසකට එන්නත ලබා දීමට ඉන්දියාව සමත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව 191,000 ක පිරිසකට ඊයේ දිනයේ කොවිඞ් එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබෙනවා.

ඉන්දීය සෞඛ්‍ය අංශ මීට පෙර සැලසුම් කර තිබුණේ, පළමු දිනය තුළ සෞඛ්‍ය අංශයේ නිරත ලක්ෂ 3 ක පිරිසකට එන්නත ලබා දීමටයි.