ඊයේ ආසාදිතයින් 669 ක් – මරණ 03 ක්

2021-01-20 at 06:28

කොවිඩ් දෙවන රැල්ල ආරම්විීමෙන් පසුව මෙරටින් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ 50000 සීමාව ඉක්මවා ගියා.

ඒ ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් තවත් ආසාදිතයින් 669 දෙනෙකු හදුනාගැනීමත් සමගයි.

ඉන් 660 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වන අතර 9දෙනෙකු විදේශයන්හී සිට පැමිණි අයවනවා.

මේ අනුව මිනුවන්ගොඩ – පෑලියගොඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් මේ දක්වා හදුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 50 දහස් 561ක්.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 54 දහස් 419 ක් ලෙසයි.

මෙරට කොවිඞ් ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 46 594 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ. තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 7552ක්.

මෙරටින් තවත් කොරෝනා මරණ 3 ක් ඊයේ රාත්‍රියේ වාර්තා වුනා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 273 දක්වා ඉහළ යනු ඇති.

ඊයේ වාර්තා වූ මරණ අතරින් එක් අයෙක් අරනායක ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා මොහු ජීවිතක්ෂයට පත්ව ඇති අතර කොවිඩ් නියුමෝනියාව නිසා ඇතිවූ ශ්වසන පද්ධතියේ උග්‍ර ආසාදනයක් මරණයට හේතුව ලෙස දැක්වෙනවා.

කොළඹ 6 ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවක පසුගිය 17 වනදා නෙවිල් ප්‍රනාන්දු රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර මරණයට හේතුව කොවිඩ් 19 ආසාදනය සමග ඇතිවූ හෘදයාබාධයක්.

මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 70ක කාන්තාවක පසුගිය 14 වනදා නෙවිල් ප්‍රනාන්දු රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඊයේ වාර්තා වූ 3 වන මරණය එයයි.

කොවිඩ් 19 ආසාදනය සමග ශ්වසන පද්ධතිය අක්‍රියවීම එම මරණයට හේතුව ලෙස දැක්වෙනවා.