එ.ජාතීන්ගේ ආරක්ෂක යෝජනා බලාත්මක කිරීමට පියවර

2019-06-13 at 06:40

ත්‍රස්තවාදය සහ ප්‍රචණ්ඩකාරී අන්තවාදය මැඩලීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මත බලාත්මක කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම හා වත්කම් අත්හිටුවීම / විදේශීය ත්‍රස්තවාදීන්ට එරෙහිව කටයුතු කිරීම / ප්‍රති ත්‍රස්ත නීති සම්පාදනය / රැඩිකල්කරණය සහ ප්‍රචණ්ඩ අන්තවාදය මැඩපැවැත්වීම ඒ අතර වනවා.

ත්‍රස්තවාදීන්ගේ විදෙස් ගමන් බිමන්වලට එරෙහිව ඵලදායී දේශසීමා කළමණාකරණය මෙන්ම අන්තවාදය ප්‍රචාරය කිරීමේදී අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය මගින් එල්ලකරනු ලබන තර්ජනයද රජය සහ එක්සත් ජාතීන් විසින් සාකච්ඡා කර තිබෙනවා.

ත්‍රස්තවාදය මගින් එල්ලවන තර්ජනවලට මුහුණදීමේ දී ශ්‍රී ලංකාවට සහය ලබාදෙන්නැයි ජනාධිපතිවරයා විසින් පසුගිය අප්‍රේල් 24 වනදා ජගත් මහ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා.

ඒ අනුව විදේශ අමාත්‍යවරයාගේ ආරාධනයක් අනුව සහකාර මහ ලේකම් මිශෙල් කොනින්ස් මහත්මිය පසුගිය සතියේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවූ අවස්ථාවේදීයි මෙම එකගතාවයන්ට එළැඹී ඇත්තේ.

ජාතික තවුහිද් ජමාත් / ජමාතේ මිල්ලතු ඊබ්‍රාහීම් සහ විලායත් අස් සෙයිලානි යන සංවිධාන 3 ත්‍රස්ත සංවිධාන ලෙස නම්කර තහනම් කිරීමටද රජය මේවනවිටත් කටයුතු කර අවසන්.

එමෙන්ම ත්‍රස්තවාදය මැඩපැවැත්වීමේ ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලවීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ගැනීමට අවශ්‍ය පියවර පිළිබඳවද සහකාර මහලේකම්වරියගේ සංචාරයේදී අවධානය යොමුවූ බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කලේ.