කැළණිතිස්සෙන් නුදුරේදීම මෙගාවොට් 165ක් යළිත් ජාතික විදුලිබල පද්ධතියට

2020-09-16 at 14:29

දැනට අක්‍රීයව පවතින කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ ජනන කටයුතු ඉදිරි සති කිහිපය තුළ සක්‍රීයකර, නැවතත් ජාතික පද්ධතියට දෛනිකව මෙගාවොට් 165 ක් බැගින් එක්කිරීමේ කටයුතු කඩිනම් කරන්නැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිඛෙනවා.

අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේ කැළණිතිස්ස විදුලි බලාගාරයේ වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරිම සඳහා පැමිණි අවස්ථාවේදීයි.

යාන්ත්‍රික දෝෂයකට ලක්වූ අදාළ බලාගාරයේ කොටස් අළුත්වැඩියා කටයුතු සදහා ඉන්දියාව වෙත යවා ඇති අතර කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මේ දක්වා එම යන්ත්‍ර අළුත්වැඩියා කොට නැවත ගෙන්වාගැනීමට නොහැකි වී තිඛෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉන්දියානු රජය සමග සාකච්ඡා කොට, බලාගාරයේ අක්‍රීයව ඇති යන්ත්‍ර කඩිනමින් අළුත්වැඩියා කර නැවත මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

විටින් විට යාන්ත්‍රික දෝෂයන්ට ලක්වන විදුලි බලාගාර අළුත්වැඩියාව වෙනුවෙන්, මේ වනවිට සාම්ප්‍රදායිකව අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග තුලින් සිදුවන ප්‍රමාදදෝෂයන් අවම කරගැනීමට දීර්ඝකාලීන සැලසුමක් සකස් කළයුතු කරන ලෙස අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී නිලධාරින් වෙත උපදෙස් දී තිඛෙනවා.