කුරුණැගල හබරණ දුම්රිය මාර්ගයේ ඉදිකිරිම් කඩිනමින් – ප්‍රමිතියෙන් තොර බස් ගෙන්වීම තහනම්

2019-03-15 at 14:04

පොදු ජනතාවට කාර්යක්ෂමව හා ලාභදායි ප්‍රවාහන සේවයක් ලබා දිම පිණිස තිරසාර ප්‍රතිපත්තියක් වන ප්‍රවහාන ක්ෂේත්‍රය ගොඩ නැගිමේ අවශ්‍යතාවය හඳුනා ගනිමින් හා පොදු ප්‍රවාහන සේවාවන්ට ප්‍රමුඛතාවය ලබා දිම වශයෙන් මහා මාර්ග පද්ධතිය හරහා සිදු කෙරෙන මඟි හා භාණ්ඩ ප්‍රවාහනය දුම්රිය සේවාව වෙත ආකර්ශණය කරවිමේ අපේක්ෂාව ඇතිව පවත්වන දුම්රිය මාර්ග පද්ධතිය වැඩි දියුණු කරන අතරම නව දුම්රිය මාර්ග සංවර්ධනය කිරිමට රජය සැලසුම් කර ඇත.

ඒ අනුව ඉදිකිරිමට යෝජිත කිලෝමිටර් 84 ක දුරින් යුතු කුරුණැගල හබරණ දුම්රිය මාර්ගයේ ඉදිකිරිම් කටයුතු කඩිනමින් සිදු කරන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මේ බව ප්‍රකාශ කලේ අද (15) මහනුවර දි, අස්ගිරි නායක හිමිපාණන් සමඟ පැවති සාකච්ජාවකදිය. අස්ගිරි විහාරස්ථානයට අයත් ඉඩම් කොටස් මෙම දුම්රිය මාර්ගය නිසා අහිමි වන බැවින් ඒ සම්බන්ධයෙන් මේ සාකච්ජාව සංවිධානය කර තිබුනි. එය සංවිධානය කර තිබුනේ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය මඟිනි.

චයිනා එක්සිම් බැංකුවේ (China Exim Bank) අරමුදල් යටතේ ඉදි කෙරෙන කුරුණැගල හබරණ දුම්රිය මාර්ගය ඉදිකිරිම් සදහා ඇස්තමේන්තුගත වියදම ඇමරිකන් ඩොලර් මිලියන 947 කි. ඇස්තමේන්තුගත කාලය අවුරුදු 04 කි. මෙම ව්‍යාපෘතියේ මුලික කටයුතු සඳහා දේශිය අරමුදල් 2018 වර්ෂය සඳහා රු. මිලියන 80 ක් වෙන් කර තිබුනි.

මෙම දුම්රිය මාර්ගය ඉදිකිරිම් සම්බන්ධව මුලික ශක්‍යතා අධ්‍යනයක් සිදු කොට නිර්මාණ සකස් කොට ආදාල මුලික කටයුතු සියල්ල සිදු කොට අවසන් වි ඇත. මේ වන විට ඉඩම් පවරා ගැනිමේ කටයුතු සිදු කරමින් පවති. ඉඩම් පවරා ගැනිමෙන් පසු කඩිනමින් ම මාර්ගයේ ඉදිකිරිම් කටයුතු ආරම්භ කිරිමට නියමිතයි. මෙම දුම්රිය මාර්ගයේ ප්‍රධාන දුම්රිය ස්ථාන 07 ක් උප දුම්රියේ ස්ථාන 04 කින් ද සමන්විත වේ. ප්‍රධාන දුම්රිය ස්ථාන වන්නේ කුරුණැගල, ඉබ්බාගමුව, මැල්සිරිපුර, ගලේවෙල, දඹුල්ල, සීගිරිය, හබරණ යන දුම්රිය ස්ථානයි. ගොකරැල්ල, බෙලිගමුව, තලකිරියාගම යන ස්ථාන වල උප දුම්රිය ස්ථාන ඉදිකිරිමට නියමිතය.

එමෙන්ම මූදුන්දූව යන ස්ථානයෙන් මිටර් 125 ක් දුර උමං මාර්ගයක් ද, පොල්ගොල්ල යන ස්ථානයෙන් මිටර් 248 ක් දිග උමං මාර්ගයක් ද, ඔමාරගොල්ලෙන් මිටර් 1840 ක් දිග උමං මාර්ගයක් ද ඉදි කිරිමට නියමිතය. මෙම උමං මාර්ගය ඉදිකිරිමෙන් පසුව ලංකාවේ දිගම උමං මාර්ගය ඔමාරගොල්ල වනු ඇත. මෙම මාර්ගයේ පාලම් 08 ක් ද ඉදිවන අතර මිටර් 789 ක් දුර දැදුරු ඔය හරහා දිගම පාලම ඉදිවේ.

මෙම අවස්ථාවේ දි අදහස් දැක්වු ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා තවදුරටත් සදහන් කලේ

අස්ගිරි විහාරයට අයත් දඹුල්ල කුරුණැගල ප්‍රදේශවල ඉඩම් ප්‍රමාණයක ඉදිකිරිමට යෝජිත කුරුණැගල හබරණ දුම්රිය මාර්ගයට ගන්න සිදු වෙනවා. ඒ සම්බන්ධයෙන් අපි අස්ගිරි නායක ස්වාමින් වහන්සේලා සමඟ සාකච්ජා කලා. උන්වහන්සේලාගෙන් මේ සංවර්ධන කටයුතු වලට කිසිම විරෝදයක් නැහැ.

මේ සම්බන්ධයෙන් උන්වහන්සේලා ඉදිරි සති 02 ඇතුලත යහපත් ප්‍රතිචාරයක් ලබාදේවි. ඒ නිසා කඩිනමින් ම මෙම ඉඩම් පවරා ගැනිමට හැකි වේවි. විශේෂයෙන් ම ප්‍රධාන මාර්ග වල වාහන තදබදය වැඩිවිම සිදු වන බැවින් දුම්රිය මාර්ග ඉදිකර දුම්රියේ පහසුකම් වැඩි කිරිමෙන් ඒ මඟින් දුම්රිය දෙසට මඟි ආකර්ශණය කර ගන්න පුළුවන්. ඒ වාගේම භාණ්ඩ ප්‍රවාහනයත් දුම්රිය මඟින් කරන්න පුළුවන්.

එවිට මාර්ග තදබදයත් අඩු වේවි. අපි ඉදිරි මාස 02 ඇතුලත විශාල වැඩ කොටසක් ඉටු කරන්න  බලාපොරොත්තු වෙනවා මඟි ජනතාව වෙනුවෙන්. ඒ වෙනුවෙන් නවින තාක්ෂණයෙන් යුතු උසස් ප්‍රමිතියෙන් යුතු බස් රථ ගෙන්විමට ද කඩිනමින් කටයුතු කරනවා. ඉදිරියේ දි ලංගමයට ගෙන් විමට බලාපොරොත්තු වන බස් රථ ප්‍රමිතියෙන් යුතුවන්නා සේම පෞද්ගලික අංශය විසින් ගෙන් වන බස් රථ ද ප්‍රමිතියෙන් යුතු බස් රථ විය යුතුයි.

අපි සියලු දෙනාගේම අපෙක්ෂාව විය යුත්තේ මඟ ජනතාවට ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ලබා දිම  බව අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කරයි. මෙම අවස්ථාවට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශ නිළධාරින් ද සහභාගි විය.