කොරෝනා සමාජගත වී ඇතැයි තවමත් කියන්න බෑ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

2021-01-14 at 12:32

කොරෝනා වසංගතය සමාජගත වී ඇතැයි තවමත් ප්‍රකාශයට පත් කිරීමට නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයට පැමිණි මොහොතේ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

සමාජගත වී ඇති බවට නිගමනයකට පැමිණීමට නම් වසංගත විද්‍යානුකූලව සිදුකරන පරීක්ෂණවලදී ආසාදිතයින් හමුවීමේ එකතුවේ පැවතිය යුතු ප්‍රතිශතයට තවමත් මෙරටින් හමු වූ රෝගීන් ප්‍රමාණය ළගා වී නොමැති බවයි ඔහු අවධාරණය කළේ.

කොවිඞ් දෙවන රැල්ලේදී රජයේ ප්‍රතිපත්තිය වූයේ රට විවෘතව තබා වසංගතය පාලනය කිරීම බවත් අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කලා.

මේ අතර සංචාරකයින් සඳහා ලබන 21 වෙනිදා නැවත රට විවෘත කිරීම සම්බන්ධයෙන් ගනු ලබන තීරණය පිළිබදවද ඔහු කරුණු පැහැදිලි කළා.