කොවිෂීල්ඩ් එන්නත දිස්ත්‍රික් 25 වෙතම බෙදාහැරීම ඇරඹෙයි

2021-01-28 at 18:17

VACCINE INDIA

ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට හිමිවූ ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත දිස්ත්‍රික් 25 වෙත බෙදාහැරීමේ කටයුතු මේවනවිට ආරම්භ වී තිබෙනවා.

ශීතාගාර සහිත වාහනවලින් මෙම එන්නත් තොගය බෙදා හැරීම සිදුවන අතර අද දිනය තුල ඒවා නියමිත මධ්‍යස්ථාන වෙත බෙදාහැර අවසන් කරන බවයි නිවුස් රේඩියෝ කළ විමසීමකදී වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ.

ඉන්දීය රජය ප්‍රදානය කළ කොවිඩ් මර්දන එන්නත් පළමු තොගයයි අද මෙලෙස දිවයිනට රැගෙන එනු ලැබුවේ.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් කටුනායක ගුවන්තොටුපලේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද එම එන්නත් තොගය නිල වශයෙන් භාර දෙනු ලැබුවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් කළ ඉල්ලීම අනුව මෙම එන්නත් තොගය ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරුනා.

එන්නත් මාත්‍රා ලක්ෂ 05ක් රැගත් ඉන්දීය ගුවන් සේවයට අයත් ගුවන් යානය අද පෙ.ව 11.45 ට කටුනායක ගුවන්තෙටුපලට ළගා වූ අතර එම එන්නත් තොගයේ බර කිලෝ ග්‍රෑම් 1323 ක්.

ශ්‍රී ලංකාව තුල ප්‍රථම වරට කොරෝනා වෛරසයට එරෙහි එන්නත්කරණ ක්‍රියාවලිය හෙට දින ආරම්භ වනවා.

ඒ බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 06කදීයි.

කොවිඩ් මර්දනය සඳහා ඉදිරිපෙල ක්‍රියාකරන එක්ලක්ෂ පනස්දහසක් පමණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ද එක්ලක්ෂ විසිදහසක් පමණ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවල පිරිස් වෙතද එන්නත පළමුව දීමටයි සැලසුම් කර ඇත්තේ.