ජාලිය වික්‍රමසූරියගේ පෙත්සම් විභාගයෙන් අගවිනිසුරු ඉවතට

2019-06-13 at 06:53

අමෙරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබු පෙත්සම් විභාගයකින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉවත්ව තිබෙනවා.

තමන් පුද්ගලික හේතුවක් මත පෙත්සම් විභාගයෙන් ඉවත්වන බවයි ඊයේ පෙත්සම කැඳවු අවස්ථාවේදී ජයන්ත ජයසූරිය මහතා ප්‍රකාශ කළේ.

2017 වසරේදී සිය තානාපති වරප්‍රසාද විදේශ කටයුතු අමාත්‍යංශයෙන් ඉවත් කිරීමට එරෙහිව ජාලිය වික්‍රමසුරිය මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණා.

කෙසේවෙතත් එය විභාගයකින් තොරවම ප්‍රතික්ෂේප කිරීමටයි අභියාචනාධිකරණය නියෝග කළේ. අභියාචනාධිකරණයේ එම තීන්දුවට එරෙහිවයි ජාලිය වික්‍රමසුරිය මහතා මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ.

ඊයේ පෙත්සම විභාගයට ගෙන ඇත්තේ අගවිනිසුරු ජයන්ත ජයසුරිය / විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේයි. ලබන ඔක්තෝබර් 9 වනදා පෙත්සම යළි කැදවීමට නියමිතයි.