ටෝගෝ රාජ්‍ය අතර සබඳතා පුලුල් කර ගැනීමට අවධානය

2019-09-12 at 06:30

ශ්‍රී ලංකාව සහ ටෝගෝ රාජ්‍ය අතර වෙළද සහ ආයෝජන සබඳතා පුලුල් කර ගැනීම කෙරෙහි දෙරටේ නායකයින්ගේ අවධානය යොමුව තිඛෙනවා.

ඒ දින දෙකක නිල සංචාරයක් සඳහා ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණි ටෝගෝ ජනාධිපති ෆෝරේ නෙසින්බේ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවු අවස්ථාවේදීයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම හමුවේදී මේ පිළිබද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සහ ත්‍රස්ත ක්‍රීයාකාරකම් මැඩලීමට ඉතා කෙටිකාලයක් තුල රජය සහ ආරක්ෂක අංශ ගත් සාර්ථක ක්‍රියාම්ර්ග පිළිබදව ද මෙහීදි මෛත්‍රීපාල සිරිසේන මහතා ටෝගෝ ජනාධිපතිවරයා දැනුවත් කළා.

එහිදී ටෝගෝ ජනාධිපති ෆෝරේ නෙසින්බේ මහතා සඳහන් කර ඇත්තේ ලබන සෙනසුරාදා ටෝගෝහිදී ආරම්භ වන ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබද සම්මේලනයේදී ත්‍රස්තවාදය මැඩලීමේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබද විස්තර කිරිමට තමන් අපේක්ෂා කරන බවයි.

ටෝගෝ ජනාධිපතිවරයා අද දිනයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ දේශපාලන නායකයින් කිහිපදෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

එරෙමන්ද ප්‍රධාන පෙලේ ශ්‍රී ලංකික ව්‍යාපාරියන් සමග හමුවකට ද ටෝගෝ ජනාධිපති ෆෝරේ නෙසින්බේ මහතා අද එක්වනු ඇති.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට සහ ආයෝජකයින්ට ටෝගෝ රාජ්‍යයේ නව ආයෝජන අවස්ථා සඳහා එහිදී තමන් ආරාධනා කරන බවත් විශේෂයෙන් ඇගලුම් කේෂ්ත්‍රයේ ව්‍යාපාරිකයින්ට ආයෝජන අවස්ථාව ලබා දීමට අවශ්‍ය පහසුකම් ලබාදෙන බව ද ටෝගෝ ජනාධිපතිවරයා අදහස් කර තිඛෙනවා.