තහනම් වල් නාශක ග්ලයිෆොසෙට් පැකට් 797 ක් සමග 03 දෙනෙකු අත්අඩංගුවට

2020-10-18 at 08:43

ග්ලයිෆොසෙට් තහනම් වල් නාශක පැකට් 797 ක් සමග සැකකරුවන් තිදෙනෙකුව නොරචෝලේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 17 වැනිදා සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

නොරචෝලේ ප්‍රදේශයේ පවත්වා ගෙන යන ගොවිපොලවල් වලට යෙදීම සදහා මෙම ග්ලයිෆොසෙට් තහනම් වල් නාශකය ගෙනවිත් තිබෙන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.

එක් සැකකරුවෙකු සතුව  පැකට් 380 ක්ද,අනෙක් සැකකරු සතුව පැකට් 370 ක්ද තිබී ඇත.

තුන්වන සැකකරු සතුව ග්ලයිෆොසෙට් පැකට් 47 ක් තිබී ඇත. මෙම ග්ලයිෆොසෙට් තහනම් වල් නාශකය ග්‍රෑම් 100 බැගින් වන පැකට් වල අසුරා තිබී ඇත.

ග්ලයිෆොසෙට් නොරචෝලේ ප්‍රදේශයට ගෙනවිත් ඇත්තේ තුන්වන සැකකරු විසින් බව පොලීසිය අනාවරණය කරගෙන ඇත.

මීගමුවේ පදිංචි තම හිතවතෙකු විසින් මෙම ග්ලයිෆොසෙට් තොගය කොළඹ ව්‍යාපාරිකයෙකුගෙන් තමන්ට මිළදී ගෙන දුන් බව එම සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත.

තමන් මෙම ග්ලයිෆොසෙට් තොගය රැගෙන ආවේ වගා බිම් වලට යෙදීම සදහා පමණක් බවද ඔහු පවසා ඇත.

සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

නොරචෝලේ පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.