පීඩන අවපාතය ත්‍රිකුණාමලය වෙරළට කි.මී 370 දුරින්

2020-11-24 at 06:40

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර ලංකාවේ ත්‍රිකුණාමලය වෙරළට කි.මී.370 දුරින් (9.3N,84.5E) මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, ඉදිරි පැය 24ක කාලය තුළ එය, සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවත් සඳහන් කරයි.

මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුළ දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇත.

මෙහි බලපෑමෙන් දිවයිනේ නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල විටින්විට පැ.කි.මි. 60-70 පමණ දක්වා වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකිය.

සෙසු ප්‍රදේශවල පැ.කි.මි. 40-50 පමණ දක්වා වන ප්‍රහාරාත්මක තද සුළං ඇති විය හැකිය.

නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු පළාතේත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර උතුරු මැද සහ වයඹ පළාත්වලත් මඩකළපුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50-100 පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.