නිවාර් කන්කසන්තුරයට කි.මී 195 ක් ඊසාන දෙසින් – හෙට සිට බලපෑම ක්‍රමයෙන් අඩු වෙයි

2020-11-25 at 18:34

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදුු ප්‍රදේශයේ පවතින නිවාර් චන්ඩ සුළි කුණාටුව මගින් දිවයිනේ කාළගුණයට වන බලපෑම හෙට දිනයේ සිට ක්‍රමයෙන් අඩු වනු ඇතැයි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර ඉදිරි පැය 36 ක කාලය තුළ වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් යාපනය, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකියි.

නිවාර් චණ්ඩ සුළි කුණාටුව මේ වනවිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරය වෙරළට කිලෝමීටර් 195 ක් ඊසාන දෙසින් ස්ථානගතව පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඉදිරි පැය 06 තුළ එය ඉතා චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වෙමින් දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ගමන් කර අද මධ්‍යම රාත්‍රියේදී ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂිතයි.

මෙම පද්ධතියේ බලපෑම නිසා නැගෙනහිර – උතුරු – වයඹ දෙසින්වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 100 ත් 110 ත් දක්වා ඉහළ යා හැකියි.

දිවයිනේ ප්‍රදේශ රැසක තද වැසි ඇති විය හැකි බවද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලා.