පාම් ඔයිල් තහනම් වුවත් පාම් ස්ටියරින් ආනයනය තහනම් නෑ – ජනාධිපති කාර්යාලය

2021-04-08 at 17:43

බිස්කට් / රසකැවිලි සහ බේකරි නිෂ්පාදන ඇතුලු අතුරු ආහාර සඳහා ප්‍රමිතියෙන් යුත් පාම් ඔයිල් ප්‍රභේද ආනයනයට කිසිඳු බාධාවක් නොමැති බව ජනාධිපති කාර්යාලය දැනුම් දෙනවා.

ඒ අනුව ව්‍යවහාරයේදී පාම් ස්ටියරින් යනුවෙන් හඳුන්වන ප්‍රභේදය ආනයනයට අවසර හිමිවන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත්කළ නිවේදනයක දැක්වෙන්නේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා නියෝග කළා.

ආනයනික පාම් ඔයිල් පරිභෝජනය මහජන සෞඛ්‍යයට හානිකර බැවින් ජනාධිපතිවරයා මෙම තීරණය ගත් බවත් පාම් ඔයිල් යනු ප්‍රධාන පෙළේ රෝග කාරකයක් බව වෛද්‍ය හා ආහාර විශේෂඥයන් විසින්ද පෙන්වා දී ඇති බවත් එම ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන්.