පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් අදත් විභාගයට

December 7, 2018

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරවන දිනටත් අද විභාගයට ගැනෙනවා.

අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේයි පෙත්සම් විභාගය පැවැත්වෙන්නේ.

ඊයේ දිනට පෙත්සම් විභාගය අවසන් කරමින් විනිසුරු මඩුල්ල නියෝග කර සිටියේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට්පත්‍රය ක්‍රියාත්මකවීම අත්හිටුවමින් අද වන තෙක් බල පැවැත්වෙන පරිදි නිකුත් කර තිබූ අතුරු තහනම හෙට දිනය දක්වා දීර්ඝ කිරීමටයි.

ජනාධිපතිවරයා ගත් තීරණය ව්‍යවස්ථාවට අනුකූල බව දක්වමින් අතරමැදි පෙත්සම් ඉදිරිපත්කල පාර්ශව වෙනුවෙන් ඔවුන්ගේ නීතීඥයන් කරුණු දැක්වීම ඊයේ සිදුවුණා.

මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොණුකල පාර්ශවකරුවන් වෙනුවෙන් අද දිනයේදී යලිත් කරුණු දැක්වීමක් සිදුවන බවයි නිවුස් රේඩියෝ අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 13 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය මස 12 වනදායි.

එක්සත් ජාතික පක්ෂය / ජනතා විමුක්ති පෙමුණ / දෙමල ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයන් එම පෙත්සම් ගොණු කර තිඛෙනවා.

ජනාධිපතිවරයා ගත් තීරණය ව්‍යවස්ථාවට පටහැනි බැවින් එය අහෝසි කරන ලෙසටයි ඔවුන් එම පෙත්සම් මගින් ඉල්ලා ඇත්තේ.