පුරප්පාඩු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දෙක ගැන මැ.කො නිහඩයි

2019-08-14 at 06:33

පුරප්පාඩුව පවතින පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 2 සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ තීරණය මෙතෙක් දැනුම් දී නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා.

එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ මැතිවරණ කොමිසමේ තීරණය ලද පසු අදාළ මන්ත්‍රී ධුර 2 ට අදාල නම් යෝජනා කරන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ අභාවය සහ ශාන්ත බණ්ඩාර මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙනුයි මෙම පුරප්පාඩු හට ගැණුනේ.

සාලින්ද දිසානායක මහතාගේ අභාවය සමග එම මන්ත්‍රීධුරය හිමිවිය යුත්තේ කවරෙකුටද යන්න පිළිබද මතුව ඇත්තේ ගැටලු සහගත තත්වයක්.

මේ සම්බන්ධයෙන් නිව්ස් රේඩියෝ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ සාලින්ද දිසානායක මහතාගේ අභාවයත් සමග පුරප්පාඩු වු මන්ත්‍රීධුරය හිමිවිය යුත්තේ කවරෙකුට ද යන්න තීරණය කිරිමේ බලය කුරුණෑගල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා වෙත පවරා ඇති බවයි.

ඒ අනුව ඔහු විසින් ඊට අදාල තීරණය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා වෙත දැනුම් දෙනු ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ.