පූගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරු මිය යාම : සැරයන්වරයෙකු ඇතුලු 08 ක් දැලේ / OIC ගේ වැඩ තහනම්

2020-10-18 at 08:11

අත්අඩංගුවට ගත් තරුණයෙකු මියයාමේ සිද්ධියට අදාලව පූගොඩ පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.

මේ අතර මෙම සිද්ධියට අදාලව පූගොඩ පොලිස් ස්ථානයේ සැරයන්වරයෙක් ඇතුලු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලේ.

ගම්පහ ජ්‍යෙස්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරිවරයෙක්ගේ මූලිකත්වයෙන් විශේෂ විමර්ශණයක්ද ක්‍රියාත්මක බවයි අජිත් රෝහණ මහතා කියා සිටියේ.

පූගොඩ පොලිස් ස්ථානයේ නිළදාරින් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සිරමැදිරිය තුලදී රෝගාතුරවී රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසුව මීට දින කිහිපයකට පෙර ජීවිතක්ෂයට පත්වුනා.

පොලිස් නිළධාරින් සහ තවත් පිරිසක් විසින් මෙම තරුණයාට පහරදී තිබූ බවටයි එම මියගිය තරුණයාගේ ඥාතීන් චෝදනා කර තිබුණේ.

ඒ අනුව වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ නියෝගයකට අනුවයි මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශණයක් පැවැත්වෙන්නේ.