මහර රැඳවියෙකුට දුරකථන 02 ක් හා දුම්කොළ පාර්සලයක් ගෙනා අයෙකු ඇතුළට ගන්න ඉහළින් නියෝගයක්

2021-01-13 at 16:42

කෑම පාර්සලයක් තුල සුක්ෂම ලෙස සඟවා මහර බන්ධනාගාර රැදවියෙකුට ලබාදීමට උත්සාහ කළ ජංගම දුරකථන දෙකක් බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

ඊයේ පස්වරු හතරට පමණ රැඳවියකු බැලීමට ආ භාහිර පුද්ගලයකු විසින් මෙම ආහාර පාර්සලය රැගෙනවිත් ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියා සිටියේ.

එම අවස්ථාවේදී මහර බන්ධනාගාරයේ ඉහළ නිලධාරියකු විසින් දුරකථන ඇමතුමක් මගින් කරන ලද නියෝගයකට අනුව අදාළ ආහාර පාර්සලය සමඟ පිටතින් පැමිණි පුද්ගලයාට බන්ධනාගාර ප්‍රධාන දොරටුව වෙත යෑමට අවසර ලබාදී තිබෙනවා.

එහිදී ආහාර පාර්සලය පරික්ෂා කළ අවස්ථාවේදීයි ඒ තුළ සුක්ෂම ලෙස සඟවා තිබූ ජංගම දුරකථන දෙක සහ දුම්කොළ කුඩු පාර්සලයක් ද සොයා ගෙන තිබෙන්නේ.

කොවිඩ් වසංගත ව්‍යාප්තිය සමග රැඳවියන්ට අමුත්තන් පෙන්වීම සහ පිටස්තර පුද්ගලයින්ට බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළු වීම තහනම් කර ඇති අවධියක මෙවැනි සිදුවීමක් වාර්තා වීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙස මෙහිදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් බන්ධනාගාර බුද්ධි ඒකකයට නියෝග කර තිබෙනවා.