මෙම වසර තුළදී අපරාධ ගොණු 9688 ක කටයුතු අවසන් – සැකකරුවන් 3012 ක් නිදහස්

2020-11-24 at 15:40

මෙම වසර තුළදී අපරාධ ගොණු 9688 ක කටයුතු අවසන් කල ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරීනී රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය නිව්ස් රේඩියෝවට කියාසිටියේ අධි චෝදනා පත්‍ර 4019 ක් මෙම කාල සීමාවේදී විවිධ මහාධිකරණවල ගොණු කර ඇති බවයි.

සැකකරුවන් 3012 ක් නිදහස් කර ඇති අතර මහේස්ත්‍රාත් අධිකරණවල ගොණු 2499 ක් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා දී තිබෙනවා.

මේ අතර උතුරේ ඇතැම් ප්‍රදේශවල මෙම සතියේ මහාවීර දිනය සැමරීමට සංවිධාන කර ඇති උත්සව නතර කිරීම සඳහා අදාල ප්‍රදේශවල මහේස්ත්‍රාත් අධිකරණවල කරුණු දැක්වීම සඳහා නීතිපතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නිළධාරීන් වෙත උපදෙස් දී තිබෙනවා.

එම නිළධාරින් අද දිනයේදී මුලතිව් හා කිළිනොච්චි මහේස්ත්‍රාත් අධිකරණවල කරුණු දැක්වීමක් සිදුකල බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරීනී රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය නිව්ස් රේඩියෝවට සඳහන් කලේ.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේද අද දිනයේදි කරුණු දැක්වීමට නිළධාරීන් පිරිසක් සූදානමින් සිට තිබෙනවා.

එහෙත් අධික වර්ශාව හමුවේ යාපනය දක්වා ගුවන් මගින් ඔවුන්ට ගමන් කිරීමේදී සිදුවූ අපහසුතා හේතුවෙන් හෙට දිනයේදී එම කරුණු දැක්වීම සිදුකරන බව නිශාරා ජයරත්න මෙනෙවිය ප්‍රකාශ කලා.