මෙරට වායු දූෂණ මට්ටමේ අසාමාන්‍ය ලෙස ඉහළ යාමක්

2020-10-30 at 07:01

ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටමේ අසාමාන්‍ය ලෙස ඉහල යාමක් මේ දිනවල දක්නට ලැබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් අවධාරණය කරන්නේ කොළඹ / මහනුවර / පුත්තලම / වව්නියාව / යාපනය ඇතුලු අනෙකුත් ප්‍රදේශවල වායු ගෝලයේ අංශුමය ද්‍රව්‍ය මට්ටම ඔක්තෝම්බර් 27 වනදා සිට අසමාන්‍ය ලෙස ඉහල යාමක් නිරීක්ෂණය වන බවයි.

මේ දිනවල දිවයින අවට පවතින සුළං ප්‍රවාහ රටාවේ සිදුව ඇති වෙනස් වීම මෙම තත්වයට හේතු වන්නට ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සැක පළ කරන්නේ.

මෙය ඉන්දියානු අර්ධද්වීපයේ ඉහල අහසේ ඇති වැඩි වායු දූෂක සුළං ප්‍රවාහ මෙරට වායුගෝලයට ඇතුල්වීම මගින් සිදුවන බලපෑමක් බවයි එයාර් විෂුවල් වෙබ් අඩවිය සදහන් කර ඇත්තේ.

මෙම තත්වය ඉදිරි දින කිහිපය පුරා පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන බැවින් කුඩා ළමුන් / වැඩිහිටියන් / ගැබිණි මව්වරුන් / ශ්වසන රෝග වලින් පෙලෙන අය වැන්නන්ට මින් යම් බලපෑමක් ඇතිවිය හැකියි.

එබැවින් නිතර මුව ආවරණ පැළඳීම හා එළිමහනේ වෙහෙසකර කටයුතු අවම කිරීම වඩා යෝග්‍ය බවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය දැනුම් දෙන්නේ.