මේ වසරේ විදෙස් ණයෙන් 1/3 ක් දැනටමත් ගෙවලා ඉවරයි

2020-05-23 at 09:25

මේ වසරේ මුල් මාස හතරේදී ගෙවීමට තිබූ විදේශ ණය වාරික සියල්ල නියමිත පරිදි ගෙවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියාසිටියේ මේ වසරේදී විදෙස් ණය ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 4.8ක් ගෙවීමට තිබූ අතර මේ වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6 ක් ගෙවා ඇති බවයි.

රටේ ආර්ථික තත්ත්වය සහ අභියෝග සම්බන්ධයෙන් විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති සංවාදයකට එක්වෙමින් ඔහු එම කරුණු අනාවරණය කලා.

පසුගිය වසර අවසානයේදීත් මේ වසර මුලදීත් රට සතුව ඇමෙරිකානු ඩොලර් බිලියන 7.5ක සංචිතයක් තිබුණු බවත් දේශීය ණය ගෙවීම් සඳහා භාවිත වීමෙන් සංචිත තරමක් අඩු වූ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා කියාසිටියා.

පසුගිය වසරේ සිට කරන ලද සැලසුම් සහගත ක්‍රියාමාර්ග හේතුවෙන් සංචිත නිසි ලෙස කළමනාකරණය කරගැනීමට හැකි වූ බවත් එබැවින් අප්‍රේල් මාසය අවසන් වනවිටත් ඇමෙරිකානු ඩොලර් බිලියන 7කට වැඩි විදෙස් සංචිතයක් පවත්වා ගැනීමට හැකි වූ බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කලා.

මේ නිසා ඉදිරියේදී ගෙවීමට තිබෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 3.3ක විදේශ ණය ද නිසි පරිදි ගෙවීමට හැකි බවයි ඔහු අනාවැකි පළකලේ.