රිමාන්ඞ් බන්ධනාගාර තදබදයට හේතුව රස පරික්ෂක වාර්තා ප්‍රමාදයයි

2020-09-17 at 06:16

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින බොහෝ පිරිසක් රඳවා ගැනීමට සිදුව තිබෙන්නේ රස පරික්ෂක වාර්තා ප්‍රමාද වීම හේතුවෙන් බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පෙන්වා දෙනවා.

රස පරික්ෂක වාර්තා කඩිනමින් ලබා ගැනීමට හැකිනම් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින විශාල පිරිසක් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැරීමට හැකි බවයි ඇය පවසන්නේ.

බන්ධනාගාර කිහිපයක් නිරික්ෂණය කිරීමෙන් පසු ඊයේ මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමිනුයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙම අදහස් පළ කළේ.

මෙරට බන්ධනාගාර තුල රඳවා තැබිය හැකි උපරිම සංඛ්‍යාව එකොලොස්දහසක් වුවත් මේවනවිට රැඳවියන් තිස්දහසක් බන්ධනාගාරගතව සිටින බව රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නා.

බන්ධනාගාර නිළධාරින් 2000 කගේ පමණ හිගයක් පවතින බවත් ඊට අදාල බඳවාගැනීම් කඩිනමින් සිදුකිරී්මට අපේක්ෂා කරන බවත් ඇය කියා සිටියා.