ලංකාවේ ක්‍රිකට් කඩාවැටීමට හේතුව ක්‍රිඩකයන් නොවේ පරිපාලනයයි – කෝප් සභාපති

2021-04-07 at 17:22

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දැවැන්ත කඩා වැටීමට හේතුව ක්‍රීඩකයන්ගේ වැරදි නොව ක්‍රිකට් පරිපාලනයේ දුර්වලතා බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා අවධාරණය කරනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2017 සහ 2018 මූල්‍ය වර්ෂ සඳහා විගණකාධිපති වාර්තාව සහ එහි වර්තමාන කාර්‍ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට ඊයේ කාරක සභා රැස්වීම කැඳවා තිබු අතර එහිදී සභාපතිවරයා මේ බව සඳහන් කළ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ හිටපු සාමාජිකයන්ගේ වැරදි ඇත්නම් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට වහාම කටයුතු කරන ලෙසත් ඒ සඳහා නීතිපතිවරයාගේ සහයද ලබා ගත හැකි බවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතාට දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමත කාර්යය මණ්ඩලය 162 ක් බවත් ඉන් 123 ක්ම කොන්ත්‍රාත් තනතුරු වීමත් විශාල ගැටලූවක් බව කාරක සභාව පෙන්වා දී තිබෙනවා.

මේ අතර 2018 වසරේදී දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරයට අදාළව අනුග්‍රාහක අයිතිය වෙනුවෙන් ලැබිය යුතු ආදායම වූ රුපියල් මිලියන 29 ක මුදල මෙතෙක් අයකර නොගෙනීම සම්බන්ධව කාරක සභාව මෙහිදී ප්‍රශ්ණ කර තිබෙනවා.

ඊට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා කාරක සභාවට දැනුම් දුන්නේ මීට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් මේ වන විට ආරම්භ වී ඇති බවයි.

මේ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාව මාස 03 ක් ඇතුළත කාරක සභාවට ලබාදෙන ලෙසත් කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතාට දැනුම් දී තිබෙනවා.-