විජයකලාගේ නඩුවට යලි නීතිපති උපදෙස් පතයි

December 7, 2018

එල් ටී ටී ඊ හිතවාදී ප්‍රකාශයක් සිදු කර ජාතීන් අතර අසමගිය ඇති කල බවට වන චෝදනාවට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහි නඩුව සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ඉල්ලා සිහි කැදවීමක් යැවීමට අධිකරණය අද නියෝග කලා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියයි මෙම නියෝගය ලබාදුන්නේ.

නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරියද අධිකරණය හමුවට පැමිණ සිටියා.

එහිදී කරුණු දක්වමින් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිළධාරීන් සදහන් කලේ මෙම නඩුවේ ඉදිරි කටයුතුවලට අදාල නීතිපති උපදෙස් මෙතෙක් හිමිව නොමැති බවයි.

ඒ අනුවයි අදාල උපදෙස් ඉල්ලා නීතිපතිවරයා වෙත සිහි කැදවීමක් යැවීමට අධිකරණය නියම කළේ.

පසුගිය ජූලි 02 වනදා යාපනයේ පැවති උත්සවයක් අතරතුරදී සිදුකල බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙනුයි විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහිව මෙම නඩුව විභාග වන්නේ.