සරත් වීරවංශට එරෙහි නඩුවේ නීතිපති උපදෙස් කඩිනම් කිරීමට නියෝග

2019-01-14 at 17:56

රජයේ වාහන අවභාවිත කිරීම කිරීමේ චෝදනාමත පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සොහොයුරු සරත් වීරවංශ මහතා ඇතුලු 5 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් වහා නීතිපති උපදෙස් ලබාදෙන ලෙස නීතිපතිවරයාට සිහිකැදවීමක් යැවීමට අධිකරණය නියෝග කර තිඛෙනවා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ.

විමල් වීරවංශ මහතා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යධුරය දැරූ සමයේදී එම අමාත්‍යංශයට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කුලී පදනම මත ලබාදුන් වාහන සැකකරුවන් මෙලෙස අවභාවිත කර ඇති බවටයි චෝදනා එල්ලවන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අවසන් කර වාර්තාව 2017 අගෝස්තු 5 වනදා නීතිපතිවරයා වෙත යොමුකළ බවයි පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම්දුන්නේ.

එහෙත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් වන නීතිපති උපදෙස් ලැබී නොමැති බවද මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කියා සිටියා.

ලබන ජූලි 12 වනදා නඩුව යළි කැදවීමට නියමිතයි. විමල් වීරවංශ මහතාගේ සොහොයුරු සරත් වීරවංශ / පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීම / මොහොමඩ් මුසම්මිල් / සෙනාරත්න ද සිල්වා සහ හේමන්ත පෙරේරා මහත්වරුන් මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් කර තිඛෙනවා.